සමාජ මෙහෙවර

 2013 ඔක්තොම්බර් - ආබාධිත රණවිරුවන්ට ත්‍යාග පරිත්‍යාග කිරීම 

ආචාර්ය ජගත් ප්‍රෙමචන්ද්‍ර හා ආචාර්ය රවී කොග්ගලගේ ගුරු මහතුන්ගේ සහ සිංහල සංස්කෘතික සංගමයේ සිසුන්ගේ ධන පරිත්‍යාගයෙන් ලබා දුන් සර්පිනාවක් අනුරාධපුර අභිමංසල රණවිරු නිවාසයේ ආබාධිත රණවිරුවන්ට පරිත්‍යාග කිරීම පසුගිය මස 24 දින සිදුවිය.
බෞද්ධයා නාලිකාව මගින් සංවිධානය කල මෙම වැඩසටහන සදහා අප වෙනුවෙන් ආචාර්ය රවි කොග්ගලගේ ගුරු මහතා සහභාගි විය. මේ එම වැඩසටහන බෞද්ධයා නාලිකාව මගින් විකාශනය කල ආකාරයයි.


2013 ජූලි - හෙළ බොදු පොත් දැක්ම


මොරටුව විශ්ව විද්‍යාලයීය සිංහල සංස්කෘතික සංගමය විසින් සංවිධානය කරනු ලබන හෙළ බොදු පොත් දැක්ම, 2013 ජුලි 29 වන සඳුදා සිට 2013 අගෝස්තු 2 වන සිකුරාදා දක්වා පැරණි ක්‍රීඩාගාරය (OLD GYM) හිදී පැවැත්විණි.


බුදුදහම, සිංහල භාෂාව, සාහිත්‍යය, ඉතිහාසය, පුරා විද්‍යාව, ජාතික නිදහස සහ සිංහලයන් සතුවූ ඉපැරණි දැනුම් පද්ධතිය ආදී ක්ෂේත්‍රයන් අළලා දිවයිනේ ප්‍රකට ලේඛකයන් විසිත වටිනා ග්‍රන්ථ රැසක් මෙහිදී එලිදැක්විණි.

2013 අප්‍රේල් - පුල්මුඩේ, ශාන්තිපුර ගම්මානයේ පන්සල ගොඩනැගීම


පසුගිය අප්‍රේල් 19-20 දින දෙකේ මොරටුව විශ්වවිද්‍යාලයීය සිංහල සංස්කෘතික සංගමයේ හිටපු සාමාජිකයින් සහ වත්මන් සාමාජිකයින් සංගමය භාර ආචාර්ය සනත් ජයවර්ධන ගුරු පියාණන් සමඟ පුල්මුඩේ, ශාන්තිපුර බලා ගියේ සිංහල සංස්කෘතික සංගමය කරන්නට බලාපොරොත්තුවන මාහැඟි වැඩක මුල් ගල තියන්නට.

ඒ තමයි, ශාන්තිපුර ගම්මානයේ කැළෑවෙන් වැසීගෙන යන පුරා වස්තු වගේම, අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් බේර ගන්න සටනක යෙදිල ඉන්න අපේ බෞද්ධ යතිවරයාණන් වහන්සේ නමකට හැකි පමණින් අත්වැලක් වීම.

දුකසේ පන්සල පවත්වාගෙන යන්නේ ගමට ඉන්ද්‍රඛීලය වගේ හයියක්ව පවතින ගජබා රෙජිමේන්තු 27වන බල ඇණිය නිසා. වෙනෙකක් තබා හාමුදුරුවන්ට දානේ නොවරදවා පූජා කරන්නෙත් හමුදාවෙන්. ගැමියකුගේ කතාවක්ම උපුටල දැක්වුවොත් " අපේ ගමේ මිනිස්සු බොහොම ටිකයි ඉන්නේ මහත්තයො,ඒ ඉන්න ටිකට අතපසුවක් නොවෙන්න දානෙ ටික පූජ කර ගන්න අමාරුයි. පිළියෙළ කර ගත්තත් ගේන්න විදියක් නෑ, සමහර දවස් වල"....

දැනට පන්සලේ තියෙන්නේ සෑම කටයුත්තකටම වගේ පාවිච්චි වෙන ආවාස ගෙයකුත්, පොඩි බුදු මැදුරකුත්, පහුගිය කඨිනෙට කඩිමුඩියේ හදා ගත්ත දානශාලාවකුත් විතරයි.



මොරටුව සිංහල සංස්කෘතික සංගමේ අපේ වෑයම පන්සලේ අඩු පාඩු විදියට පේන, චෛත්‍යයක්, බෝධි ප්‍රාකාරයක්, විහාර ගෙයක් වගේම හාමුදුරුවන්ට ආවාස කුටියකුත් හදන්න. ඒ විතරක් නොවෙයි, පන්සලට වගේම ගමටත් පානීය ජලය වගේම විදුලිය නොමැති ප්‍රශ්නෙකුත් තියෙනවා.ගමේ පොඩි උන් ටිකට පාසලට යන්න සපත්තු, ඇඳුම් පැළඳුම්,පුළුවන් නම් බයිසිකලයක්.... මෙකී නොකී තවත් අඩුපාඩු ගොඩයි.

අපේ අරමුණ අපට හැකි පමණින් ඒ ජීවිතවලට පහසුවක් ලබා දෙන්න. ඇමරිකාවේ වසන අපේ ආදි සිසුවෙක් වෙන මාධව අයියා දැනටත් අපි එක්ක අත්වැල් බැඳගෙන. ඇත්තටම මේ ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙක් ඔහු. අපට ඔබ සැමගේම උපකාරය අවශ්‍යයි මේ කටයුත්ත සාර්ථක වෙන්න නම්. එන්න අපත් එක්ක අත්වැල් බැඳ ගන්න. අඳුරට ශාප කර කර ඉන්නේ නැතිව එක පහනක් වත් දල්වන්න...