ඉතිහාසයෙන් බිඳක්

~බිසෝ කොටුව~


"ලංකාවේ මහා වාරි කර්මාන්ත වල විශිෂ්ඨත්වයත්, එවයේ නිපුණත්වයත් පෙන්වන එක් මහා ලකුණක් තමයි, බිසෝ කොටුව. දැන් අපිට එක අද ක්‍රියාත්මක වෙනවා දකින්න බැරි උනාට, ඒ මහා ලකුණ තමයි, මහා පිම්මක් හැටියට මේ වැවු කමේ දකින්න පුලුවන් වෙලා තියෙන්නේ. මොකක්ද මේ බිසෝ කොටුව කියන්නේ? කුඩා වැවක උනත්, මහ වැවක උනත්,අපි දන්නවා ගබඩා කර ගත් ජලය යවන්න ඕනි කෙත් වතු කරා. ඒ සඳහා බිහි දොරක් තිබිය යුතුයි.හැබැයි අඩි දහයක වතුර යවනව යි අඩි විසි පහක ගැඹුර වතුර යවනවයි අතර වෙනසක් තියෙනවා. අපි දන්නවා කුඩා ගම් වැවු තියෙනවා, ඒකේ ජලේ ගැඹුර අඩි 10ක් දොළහක් විතර. ඒ එක්කම කුඹුරු වෙත යවන ජල ප්‍රමාණය කුඩයි.අපි දන්නවා අපේ මහ වැවු තිබුණා, මාදුරු ඔය ගත්තොත් එහෙම,මීටර 34ක් ගැඹුරුයි. ඒ එක්කම මහා ජල ධාරාවක් කෙත් වතු වලට යවන්න අවශ්‍යයි. මෙතනදී කුඩා වැවු වලට යෙදූ සොරොව් උපක්‍රමය පාවිච්චි කරන්න බැහැ.මෙන්න මේ උපක්‍රමය තමයි බිසෝ කොටුව කියන්නේ...."






~කටුමැටි බිත්ති සහ අපේ ගෙවල්~


නිවාස පිළිබඳව මෙරටේ කාලයක පටන් මහත් කලබැගෑනියක්‌ ඇත. නිවාස ගැටලුව එන්න එන්න ම උග්‍ර වේ. අද නිවාසයක්‌ සැදීමට මෙරට සහ විදේශ සම්පත් විශාල ප්‍රමාණයක්‌ වැය වේ. මේ වැය වීම් යනු ඒවායේ චක්‍රීය භාවිතයක්‌ නො ව ඒවා සදහට ම පාහේ විනාශ වීම ය. ගොඩනැඟිලි සඳහා යොදා ගන්නා කළුගල්, වැලි, පිළිස්‌සූ ගඩොල් ආදිය නැවත සොබාවික චක්‍රයට වැටෙන්නේ නැත. මේවා සොබාවික චක්‍රයට එක්‌ නො වනවා පමණක්‌ නො ව අදාළ ගොඩනැඟිල්ල විනාශ වීමෙන් පසු තැන් තැන්වල එකතු වී විශාල වෙනත් පාරිසරික ගැටලු ද ඇති කරයි. සිමෙන්ති සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වෙනුවෙන් විශාල විදේශ විනිමයක්‌ වැය වේ. එපමණක්‌ නො ව සිමෙන්ති භාවිතය නිසා ලෝකයේ කොතැනක හෝ ඒවා නිෂ්පාදනය කෙරෙන තැන විශාල බලශක්‌ති ප්‍රමාණයක්‌ කාබාසිනියා කෙරෙනු ඇත. පරිසරය ද දූෂණය කෙරේ. මෙපමණක්‌ නො ව සොබාවික පැවැත්මට ද මෙපමණ හානිකර මේ ගොඩනැඟිලි සැදීමට ගොස්‌ අපේ අය කොපමණ ණය වෙනවා ද? බොහෝ අය මිය යන තුරු ම නිවාස ණය ගෙවනු ඇත. අපේ නගරවල ඉදි කෙරෙන විශාල ගොඩනැඟිලි මෙන්ම පෞද්ගලික නිවාස ද ඉදි වන්නේ බොහෝ සේ විදේශ සම්පත් භාවිතයෙනි. මේවා අපට ණය හෝ ආධාර වශයෙන් ලැබේ. මේ කෙසේ ලැබුණත් මේවා අපට දිගට ම නඩත්තු කරගෙන යැමට හෝ හැකි ද? මේ සඳහා යොදා ගන්නා බොහෝ ද්‍රව්‍ය අපේ පරිසරවලට ආගන්තුක ය. ඒවා අපේ පරිසරයෙන් උපන් දෑ නො වේ. එසේ ම ඒවා අපේ පරිසරයට එක්‌ කිරීම ද කළ නොහැකි ය. ඉතින් මේවායේ අඛණ්‌ඩ පැවැත්ම තහවුරු කරන්නේ කෙසේ ද? ඕනෑ ම ගොඩනැඟිල්ලක්‌ සඳහා නිශ්චිත ආයු කාලයක්‌ ඇත. ඉන් පසු සිදු වන්නේ කුමක්‌ ද? ඉන්පසු ඇති වන ගැටලුකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට නැවත විදේශ ආධාර, ණය ලබා ගනිමු ද? මේ යන ආකාරයට ම ගිය හොත් අපට ආධාර, ණය දීමට වත් ලෝකයක්‌ ඉතිරි වේ ද?

අප අද හඹා යන සංවර්ධනය වූ කලී එක දිගට වර්ධනය වන්නකි. මෙය එක දිගට වර්ධනය වුවත් මෙහි ප්‍රතිඵල ලබන පිරිස එන්න එන්න ම අඩු වන අතර එහි අනිසි ප්‍රතිඵල විඳින පිරිස එන්න එන්න ම වැඩි වේ. මේ වර්ධනය සිදු වන්නේ සොබාවික චක්‍රීයත්වයෙන් පිටස්‌තර ව ය. ලෝකයේ සොබාවික චක්‍ර ඇත. මේ චක්‍ර ක්‍රියාත්මක වන්නේ සූර්යයා මගිනි. එනම් සූර්ය ශක්‌තිය මගිනි. මේ චක්‍ර ක්‍රියාත්මක කෙරුම සඳහා සූර්ය ශක්‌තිය වැය වීමේ දී ඒවා (බොහෝ විට තාපය ලෙස) අවසානයේ අප අවට ගොඩගැසේ. එසේ ම මිනිසා ගේ සහ අනෙක්‌ සතුන් ගේ ක්‍රියාකාරකම් නිසා ද මෙවැන්නක්‌ සිදු වේ. එහෙත් එකතු වීම් යම් ප්‍රමාණයක්‌ ඉහළ වායුගෝලයේ අභ්‍යවකාශයට මුදා හැරේ. එමගින් එම හානිකර එකතු වීම් අඩු කෙරේ. එහෙත් මේ අඩු කෙරෙන ප්‍රමාණයට වඩා එකතු වන ප්‍රමාණය වැඩි වුව හොත් ගැටලු මතු වේ. අද ලෝක උණුසුම ඉහළ යැම ආදිය මගින් විදහා පාන්නේ මේ ගැටලුව ය. එනම් අද අපි සොබාවික චක්‍රීයත්වයෙන් ඔබ්බට ගොස්‌ ලෝක සම්පත් වනසමින් සිටිමු. මේ සියල්ල අද අප වසා ගන්නේ විද්‍යා-තාක්‍ෂණය මගින් මේවාට විසඳුම් සොයා ගනු ඇත යන මූලික අවිද්‍යාවේ සිට ය.

මේ රේඛීය වර්ධනය තුළ තිරසාර (Sustainable) පැවැත්මක්‌ නැත. තිරසාර පැවැත්මක්‌ තහවුරු වන්නේ සොබාවික චක්‍රීයත්වය තුළ කටයුතු කරන්නේ නම් ය. යමක්‌ චක්‍රීය නම් එහි තිරසාර පැවැත්ම පිළිබඳව විවාදයක්‌ තිබිය නොහැකි ය. තිරසාර පැවැත්ම පිළිබඳව හොඳ ම අර්ථවත් නිර්ණායකය වන්නේ චක්‍රීයත්වය ය. මේ සඳහා තාප ගති විද්‍යාවේ දැක්‌වෙන එන්ට්‍රොපිය, (Entropy), යමක අඩංගු ප්‍රයෝජනවත් ශක්‌තිය (Exergy) ආදි සංකල්ප යම් ආකාරයකට ප්‍රයෝජනයට ගත හැකි වුවත් ඊට වඩා බොහෝ පරිපූර්ණ සංකල්පයක්‌ වන්නේ අපේ සම්ප්‍රදායේ හමු වන චක්‍රීයත්වය යන්න ය. වසර දහස්‌ ගණනක්‌ පැවැති මෙරට විවිධ පද්ධතීන් පිළිබඳව සලකා බැලීමේ දී ඒ සියල්ල පිටුපස පැවැති චක්‍රීයත්වය ඊට හේතු භූත වී ඇති බව මොනවට පැහැදිලි වේ. මේ සඳහා හොඳ ම උදාහරණයක්‌ ලෙස වැව් පද්ධති සමග බැඳුණු මිනිසා සතා සීපාවා සියල්ල ඇතුළත් වූ ජෛව පද්ධති දැක්‌විය හැකි ය. ඒවායේ ක්‍රියාකාරීත්වයන් තුළ කොපමණ චක්‍රීයත්වයක්‌ තිබුණා ද? (චක්‍රීයත්වය, එන්ට්‍රොපිය, සඵල ශක්‌තිය සහ තිරසාර පැවැත්ම පිළිබඳව වෙන ම ලිපියක්‌ මගින් විස්‌තර කරමු). අප චක්‍රීයත්වය තුළ ක්‍රියාත්මක වන්නේ නම් අනාගත පරපුර සඳහා අමුතුවෙන් සම්පත් ඉතිරි කෙරුමක්‌ අවශ්‍ය නැත. චක්‍රීයත්වය තුළ ඉබේ ම අදාළ දෑ අනාගතයට ඉතිරි වනු ඇත. චක්‍රීයත්වයෙන් පිට පැන අනාගතය සඳහා සම්පත් ඉතිරි කළ ද ඒවා ද තවත් පරම්පරා කීපයකින් පසුව විනාශ වනු ඇත. එහෙත් අද අප සම්පත් සහ බලශක්‌තිය (බලශක්‌තිය යන්න සුවිශේෂී සම්පතක්‌ නො වේ. අද බලශක්‌තිය යන්න විශේෂ සම්පතක්‌ ලෙස සැලකෙන්නේ ඊට බොහෝ දෑ කළ හැකි යෑයි සිතන නිසා ය. එහෙත් එය එසේ නො වේ.) සොබාවික චක්‍රීයත්වය තුළ භාවිත කළ හොත් අපේ ඉදිරි පරම්පරාවනට ඉර-හඳ පවතින තුරු පැවතිය හැකි වනු ඇත.

ඉහත පසුබිමෙහි දැන් අපි අපේ පැරැණි කටුමැටි බිත්ති සහිත ගෙවල් පිළිබඳව විමසමු. රූපයේ දක්‌වා ඇති පරිදි කටු මැටි බිත්ති සැකසෙන්නේ දැව දඬු, උණ බට ආදියෙන් සකසා ගත් ව්‍යqහයක්‌ තුළ මැටි ගුලි වශයෙන් එක්‌ කිරීමෙනි. මෙසේ සකස්‌ කර ගන්නා බිත්තිය කටු මැටි බිත්තිය නම් වේ. පසුව මේ මත වඩා සියුම් මැටි යොදාගෙන යම් ආකාරයක සමතල කෙරුමක්‌ සිදු වේ. මේ දෙවැනි මැට්‌ට දෙමැට්‌ටම ලෙස හැඳින්වේ. (ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේවා සකස්‌ කර ගන්නා අන්දම සහ ඒවාට යොදන නම් වෙනස්‌ විය හැකි ය). අනතුරුව ඊටත් මතුපිටින් ඉතා සියුම්ව සකසා ගත් එනම් සියුම් ඇලකින් පෙරාගත් මැටි/ ජලය මිශ්‍රණයක්‌ ආලේප කෙරේ. මෙලෙස සකසා ගන්නා ගෙයක ඇති සුවදායි භාවය සහ ඒවාට හේතු පිළිබඳව ඉදිරි ලිපියකින් විස්‌තර කෙරෙන අතර මෙහි දී මේ බිත්තිවල යාන්ත්‍රික ගතිගුණ ගැන පමණක්‌ සලකා බැලේ.

කටු මැටි බිත්තියේ ඇති දැව දඬු ව්‍යqහයට තිරස්‌, සිරස්‌ ආතති දරා ගත හැකි ය. ඒ සඳහා මැටිවල සබැඳියාවක්‌ නැත.

මැටිවලට ආතති දැරිය නොහැකි ය. එහෙත් බිත්තියේ දැව දඬු ව්‍යqහය යම් ආකාරයක ඇඹරීමකට ලක්‌ කෙරෙන ආකාරයේ බලපෑමකට බිත්තිය ලක්‌ වුව හොත් (එනම් රූපයේ දක්‌වා ඇති පරිදි දැව දඬු අතර ඇති 900 කෝණ වෙනස්‌ වන පරිදි) දැව දඬු ව්‍යqහයට ඊට ඔරොත්තු දීමේ හැකියාව නැත. බිත්තිය මැදට තිරස්‌ බලයක්‌ යෙදීම, පොළොව ගිලා බැසීම, වහල ආදිය නිසා ඉහළින් ඇති වන සිරස්‌ බල, තාපය නිසා ප්‍රසාරණය ආදිය නිසා මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි ය. ඉහළින් යෙදෙන සිරස්‌ සම්පීඩන බල දැව දඬු ව්‍යqහයට දරාගත හැකි වුවත් ඒ නිසා ඇති වන බකල් වීම් (Buckling) ඊට දරා ගත නොහැකි ය. එනම් එහි දී දැව දඬු ව්‍යqහය ඇඹරීමට ලක්‌ වේ. මෙසේ දැව දඬු ව්‍යqහය ඇඹරීමට ලක්‌ වන විට ව්‍යqහයේ කොටු තුළ ඇති මැටි සම්පීඩනයට ලක්‌ වේ. එහෙත් මැටි සම්පීඩනයට ඔරොත්තු දෙන නිසා ඊට එරෙහි ව ක්‍රියා කෙරෙමින් එම ඇඹරීම් නවතා ලයි. (අවම කරයි). එනම් කටුමැටි බිත්තියට ඇති වන ඉහත ආකාරයේ බලපෑම් මැටි සම්පීඩනයට ලක්‌ වීම මගින් සමනය කෙරේ. කටු මැටි බිත්ති ඇඹරීමෙන් වළකින්නේ ඒ ආකාරයට ය.

කොන්ක්‍රීට්‌ ව්‍යqහයක දී කොන්ක්‍රීට්‌ ද ලක්‌ වන්නේ සම්පීඩනවලට පමණක්‌ වුවත් මෙහි දී තත්ත්වය වෙනස්‌ ය. කොන්ක්‍රීට්‌ ව්‍යqහයක දී කොන්ක්‍රීට්‌ (එනම් සිමෙන්ති, වැලි, කළුගල් දැලිස) වානේ කම්බි මගින් වැර ගැන්වේ. එහෙත් කටු මැටි බිත්තියක දී දැව දඬු ව්‍යqහය මැටි මගින් වැර ගැන්වේ.

කොන්ක්‍රීට්‌ ව්‍යqහයක දී කොන්ක්‍රීට්‌ දැලිස මුළු ව්‍යqහය පුරා ම දැඩිව එකට බැඳී තිබුණත් කටු මැටි බිත්තියක දී මැටි මුළු ව්‍යqහය පුරා දැඩිව එකට බැඳෙන්නේ නැත. දැව කොටු තුළ ඇති මැටි ගුලි අතර දැඩි බන්ධනයක්‌ නැත. මේ නිසා යම් බලපෑමක්‌ නිසා (එනම් ආතති ඇති වී) මැටි ගුලියක පැල්මක්‌ ඇති වුවත් එය යාබද ගුලිවලට පැතිරෙන්නේ නැත. කටු මැටි බිත්තිවල එක දිගට ගමන් ගන්නා පැලුම් නොමැති වීමටත් කොන්ක්‍රීට්‌ ව්‍යqහවල එලෙස වීමටත් හේතුව මේ අනුව පැහැදිලි ය. මේ අනුව කටු මැටි බිත්ති තම ජ්‍යාමිතික ස්‌ථාවරත්වය රැක ගන්නේ මුළු ව්‍යqහය පුරා පැතිරුණු දැඩිභාවයකින් තොර ව ය.

ඉහත කවරක්‌ සඳහන් කළ ද කටු මැටිවලට වඩා කොන්ක්‍රීට්‌ (පමණක්‌ නො ව ගඩොල්, බ්ලොක්‌ ගල් බිත්ති පවා) සවි ශක්‌තියෙන් වැඩි නො වේ දැයි දැන් කෙනකු ඇසීමට බැරි නැත. සැබෑ ය. කොන්ක්‍රීට්‌වල සවි ශක්‌තිය වැඩි ය. මේ සවි ශක්‌තිය යනු ආතති, සම්පීඩන, නම්‍ය ඝූර්ණ ආදිය දැරීමේ හැකියාවන් ය. එහෙත් හුදෙක්‌ මේවා දරා ගැනීමට ඇති හැකියාවෙන් නම් වැඩක්‌ නැත. මේවා වැදගත් වන්නේ අවශ්‍යතාව අනුවය. වසර සියයක්‌ ඉතා සවිමත්ව (අනවශ්‍ය සවියක්‌) පවතින එහෙත් පරිසරය සහ සම්පත් චක්‍රීයත්වයෙන් ඔබ්බට ගොස්‌ වනසන, බිත්තියට වඩා අපට අවශ්‍ය සවියෙන් යුතු චක්‍රීයත්වය තුළ පවතින එසේ ම වසර හතළිහක්‌ පවතින බිත්තියකි.

කටුමැටි බිත්තිවල ද දාගැබ් පිළිබඳ ලිපිවල දී අප විස්‌තර කළ නම්‍යශීලිභාවය දැකගත හැකි ය. එනම් මේ බිත්තිවල යම් ස්‌ථානයක යම් බලපෑමක්‌ වුව හොත් එය ඒ ආසන්නයේ ම සමනය කර ගැනීමේ හැකියාව ඇත. එය මුළු ව්‍යqහය පුරා පැතිරෙන්නේ නැත. එසේ ම යම් ස්‌ථානයක සිදු වන බිඳවැටීමක්‌ ඒ ස්‌ථානයට පමණක්‌ සීමා වන පරිදි නැවත ගොඩනැඟිය හැකි ය. පරිසරයේ වෙනස්‌ වීම්වලට (ජලය, තාපය, පොළොව ගිලා බැසීම් ආදිය) වෙනස්‌ වෙමින් ඔරොත්තු දීමේ හැකියාව කටු මැටි බිත්තිවලට ඇත. මේ බිත්තිවල ඇති නම්‍යශිලීභාවය නිසා ආවේගි බලවලට සහ භූ කම්පාවලට ඔරොත්තු දීමේ හැකියාව ද වැඩි ය. බිත්තියේ මැටි ගුලි කීපයකට බලපාන ආවේගී බල නිසා එම මැටි ගුලිවල සම්පීඩන, විතති ආදිය ඇති වී ඇතැම් විට ඒවා බිඳී යා හැකි ය. එසේ ම ඒවාට දැව කොටු තුළ යම් ආකාරයකට චලනය විය හැකි නිසා එමගින් ද ආවේගී බල සමනය කර ගත හැකි ය. මේ ආවේගී බලවල බලපෑම සෙසු ප්‍රදේශ පුරා පැතිරීමට ඇති ඉඩකඩ ඉතා මඳ ය.

මේ සියල්ලට ම වඩා කටු මැටි බිත්තියක ඇති වැදගත්කම වන්නේ එහි සොබාවික චක්‍රීයත්වයට ඇති සමීපත්වය ය. කටු මැටි ගෙයක්‌ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්නේ අවට පරිසරයෙන් ම ය. යම් කාලයකට පසු නිවෙස අභාවයට යන විට ඒ ද්‍රව්‍ය බොහෝ දුරට නැවත ඒ පරිසරයට ම එක්‌ වේ. දැන් නැවත එවැනි ගෙයක්‌ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඒ පරිසරයෙන් ම ලබා ගත හැකි ය. මේ චක්‍රීයත්වය අද ප්ලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රීයකරණය වැනි කෘත්‍රීම එකක්‌ නො වේ. ප්ලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රීකරණයේ දී චක්‍රීය නො වන පරිදි කොපමණ ද්‍රව්‍ය/ශක්‌තිය ප්‍රමාණයක්‌ වැය වේ ද? එහෙත් කටුමැටි ගෙයක්‌ ප්‍රතිචක්‍රීයකරණයේ දී එවැන්නක්‌ නො වේ. එය සිදු වන්නේ සූර්යයා මගින් සිදු කෙරෙන චක්‍රීයත්වය තුළ ය.

මේ අනුව තිරසාර පැවැත්මට කටුමැටි ගෙවල් අතිශය වැදගත් ය. අපේ සංවර්ධනයේ අතිශය වැදගත් නිර්ණායකයක්‌ වන්නේ චක්‍රීයත්වය යන්න ය. චක්‍රීයත්වයෙන් ඔබ්බෙහි විශාල කාලයක්‌ පවතින දෙයකට වඩා චක්‍රීයත්වය තුළ කෙටි කාලයක්‌ පවතින දෙයක්‌ අපේ සංවර්ධන රාමුවට ගැළපේ. චක්‍රීයත්වය තුළ කෙටි කාලයක්‌ පවතින දෙයක්‌ වුව එම චක්‍රීයත්වය නිසා ම ඉර හඳ පවතින තුරු පවතිනු ඇත. එහෙත් චක්‍රීයත්වයෙන් පිට දිගු කලක්‌ පවතින දෙයක්‌ එම දිගු කාලයෙන් පසු සදහට ම නැති වනු ඇත.

අපේ සංවර්ධන වැඩ කටයුතුවල දී මේ පිළිබඳව දැඩි ලෙස සිතා බැලිය යුතු ය. එසේ නො වුව හොත් දෑස්‌ නිලංකාර කරවන කෙටි කාලීන පංචකාම සුවයන් ගෙන් පසුව එකවර විශාල අර්බුදවලට මුහුණ දීමට සිදු වීම අනිවාර්ය ය. අපේ සංවර්ධනය යනු පංචකාම වස්‌තූන්හි ඇලී ගැලීම නම් නො වේ. ඒවායින් මිදීම ය. පංචකාම වස්‌තූන් පිටුපස දිව යන විට කෙලෙස්‌ වැඩි වන අතර මේ නිසා අපට කවර ආකාරයේ විපත්වලට මුහුණ දීමට සිදු වේ දැයි කිව නොහැකි ය. දැනට අප සිහිනෙකින් පවා නො සිතන විපත්වලට මුහුණ දීමට සිදු වනු ඇත.

මේ අනුව ඉහත පසුබිම තුළ දැනට පවතින නිවාස ගොඩනැඟිලි ගැටලු විසඳීමේ දී නැවත කටුමැටි (හෝ එවැනි) ක්‍රමවේදයන් පිළිබඳව සිතා බැලීමට කාලය පැමිණ ඇත.