ඉදිරි දැක්ම

වර්ෂ 1998 ජනවාරි මස 24 වන දින ශ්‍රීලාංකිකයින්ගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළදා මාලිගාවට එල්.ටී.ටී.ඊ. කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවිය. එම ප්‍රහාරයෙන් ශ්‍රී දන්ථ ධාතූන් වහන්සේට කිසිදු හානියක් නොවුවද, ශ්‍රී දළදා මාලිගාවට විශාල හානියක් සිදුවිය.


එවකට මුලු මහත් සිංහල ජාතියටම එල්ලවූ ව්‍යසනයන් වලින් යලි නැගීසිටීමටත්, එවැනි ව්‍යසනයන් හමුවේ අනාගතයේදී ශක්තිමත් කණ්ඩායමක් ලෙස බුද්ධිමත්ව ක්‍රියාකිරීම සඳහාත් මොරටුව විශ්ව විද්‍යාලයීය සිංහල සංස්කෘතික සංගමය පිහිටුවන ලදි.



ජාතිය අභියෝග සහ විද්‍යාර්ථීන්
අප සියල්ලෝම අද, රට සහ ජාතිය හමුවේ ඇති බරපතල අභියෝග අභියස පිළිතුරු සෙවීමට තබා එම අභියෝග නිවැරදි දෘෂ්ටියකට අනුව විග්‍රහ කර ගැනීමට පවා නොහැකිව සිටින්නෙමු. ජාතියට අවශ්‍ය වන්නා වූ මතවාදීමය දෘෂ්ටිය සහ ප්‍රායෝගික වැඩපිළිවෙල නිරවුල්ව ග්‍රහණය කර ගැනීමටත් එය පෝෂණය කොට වඩාත් උත්තම වූ අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් අපි වෙසෙසින්ම බලාපොරොත්තු වෙමු. අද දවසේ අපගේ වගකීම වන්නේ එයයි.
ජාතිය යන්නට විවිධ නිර්වචන ඇතත්, අප සියල්ලන්ටම එකඟ විය හැකි සංකල්පයක් ඇතැයි සිතමු. මිනිසා උත්පත්තියෙන්ම යම් ජාතියකට අයත් වන බව සමාජ සම්මතයයි. නමුත් ඔහු හෝ ඇය අයත් වන්නා වූ ජාතිය යනු එම සමාජ සංස්ථාවේ ඇති ගුණාංග රාශියක සංකලනයකි. එම ගුණාංග අතරට අනන්‍ය වූ නිජ භූමියක් තිබීම, අනන්‍ය වූ ආර්ථික ක්‍රමයක් තිබීම අනන්‍ය වූ සංස්කෘතියක් තිබීම සහ අනන්‍ය වූ හර පද්ධතියක් තිබීම මුලික ගුණාංග ලෙස සැලකිය හැකිය.
සිංහල ජාතියට තම අනන්‍යතාවය ලොවට පැහැදිලි කිරීමට ඇති සාධක අතර ආර්ථික ක්‍රමය, කලා ශිල්ප, සංස්කෘතිය, ඉංජිනේරු ශිල්පය, වෛද්‍ය ක්‍රමය සහ කෘෂි තාක්ෂණය යනාදිය ඉදිරියෙන්ම ඇත. විශ්මිත වාරි පද්ධතිය, දාගැබ් සහ පෙති පිළිම මේ සඳහා කදිම උදාහරණ වේ.
එදවස සිංහල ජාතිකයන් ජාතියක් වශයෙන් තම අනන්‍යතාවය රැකගෙන තමන්ට උචිත පරිදි නව නිර්මාණ සහ සංකල්ප බිහි කල අතර, අද දවස වන විට බාහිර සංකල්ප වල සරණ යමින් සිටි.එනම්  දේශපාලන ක්‍රමය, ආර්ථික ක්‍රමය, සමාජ ක්‍රමය සහ අනෙකුත් සියලුම දෑ අඩු වැඩි වශයෙන් ආගන්තුක සංකල්ප මත ක්‍රියා කරයි. අද අපට අවශ්‍ය වන්නේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වූ ක්‍රමයකි. ඒ සඳහා ගුණාත්මක හැදෑරීමක් කල යුතුව ඇත. එම හැදෑරීම තුලින්  දැනට උද්ගතව ඇති අභියෝග ජයගත හැකිය.
සිංහල ජාතිය හමුවේ අභියෝග ඇති බවත් ඒවා නිවැරදිව අවබෝධ කරගත යුතු බවත්, ඒවා අපට ජයගත හැකි බවත් අවබෝධ කරගත යුතුය.එම අවබෝධය ලබා ගැනීමට කල යුතු වන්නා වූ හැදැරීම් අද අදම ආරම්භ කල යුතුව ඇත්තේ නිවැරදි හැදෑරීමකින් තොරව ගන්නා ලබන ක්‍රියාමාර්ග සාර්ථක නොවන  හෙයිනි.
අපගේ නිජ භූමියට, ආර්ථික ක්‍රමයට, සංස්කෘතියට, ආගමට සහ හර පද්ධතීන්ට එල්ල කරන්නා වූ අභියෝග මැනවින් හදුනා ගනිමු. ඒ සඳහා උදාහරණ සැපයීම අනවශ්‍ය යැයි අපි සිතමු. එම අභියෝගයන් අප ජාතියේ ඇති සුළු දුර්වලතාවයන් හේතු කොට ගෙන ඇති වන්නා අතරම. එම අභියෝග ජයගැනීමට අපට හැකි වන්නේ සියල්ලෝම සිංහල බෞද්ධ චින්තනයක් මත පිහිටා ක්‍රියාවට නංවන්නාවූ වැඩ පිළිවෙලක් තුලිනි. එම චින්තනය, ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල ගොඩනැගීම උදෙස සැවොම එක්වෙමු.
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා ලබමින්  විද්‍යාර්ථයින් වශයෙන් වර්තමානයේදී සහ අනාගතයේදී පොදු අරමුණු කරා ගමන් කිරීමට අදිටන් කර ගනිමු. අභියෝග පරදා වඩා උසස් සමාජයක් ගොඩනැගීමට  සැවොම එක්වෙමු!
තෙරුවන් සරණයි!


“ජාතිය රන් විමනක්                   වේ
 ආගම මිනි පහනක්                     වේ
 එය රැක ගන්නට              මෙලොවේ
 සමත් වෙතොත් පුතා නුඹ           වේ

 තමන් ලබූ දිවි                 පෙවෙතේ
 කොටසක් රට සමය              වෙතේ
 පුදනොකලොත් ඉතින්            පුතේ
   මෙලොවට කිසි පලක්        නැතේ”

                                                                                            සිං සං සං